ට්‍රම්ප්ගේ ගොඩනැගිල්ලට නැග්ග තරුණයා පොලිස් අත්අඩංගුවට
තරුණයා ගොඩනැගිල්ල දිගේ ඉහළට නගිද්දී ඔහු අල්ලා ගැනීමට සූදානමින් සිටින නිව්යෝක් පොලිස් නිලධාරීන් කණ්ඩායමක්...
නිව්යෝක් නුවරදීය (රොයිටර්)
ඇමෙරිකන් ජනපති ධුර අපේක්ෂක රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නිව්යොක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ල දිගේ නගිමින් ඊට ඇතුළුවීමට උත්සාහ කළ තරුණයකු නිව්යෝක් පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම තරුණයා ගොඩනැගිල්ල පිටතින් ඊට නැග්ගේ කඹ සහ වීදුරුවල ඇළෙමින් යා හැකි රබර් පියන් ආධාරයෙනි. ඔහු ඉහළට නගින අයුරු පහළ සිටි පිරිස් ඔල්වරසන් දෙමින් නැරැඹූ බව ද වාර්තා වේ.
ඉහළට නැග්ග එම තරුණයා ගොඩනැගිල්ලේ ඉහළින් පිහිටි ජනේලයකින් ඇතුළට ඇද අත්අඩංගුවට ගැනීමට නිව්යෝක් පොලිසිය පියවර ගත්තේය. තමාට අවශ්‍ය වූයේ ජනපති අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී කතා කිරීමට යැයි එම තරුණයා පසුව පැවැසූ බව පොලිසිය මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.